ගලහා හන්දියට එන්න කීවා, බයික් වලින් අරන් ගිහින් පාළු ගෙදරකට දාලා ඇඳුම් ගැලෙව්වා - දැන් මූණු වහන් යන පේරාදෙණියේ අසහනකාරීන්ගේ රැග් කිරිල්ලේ සුළමුල එළියට
ඊයේ (20) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුන් පිරිසක් විසින් එම විශ්ව විද්‍යාලයේම 1වන වසරේ සිසුන් 8 දෙනෙකුට විශ්වවිද්‍යාල භූමියෙන් පිටත කුලී පදනම මත ගත් නිවසකදී විවිධ වදහිංසා පමුණුවමින් සිටියදී අත්අඩංගුවට ගත් අතර ඔවුන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබෙනවා.
දරුණු ලෙස වධහිංසා පමුණුවමින් සිසුන් නිරුවත් කොට බිය වැද්දවූ බවට චෝදනා ලැබ මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතව ඇත්තේ චතුර ලසන්ත, දර්ශන ගුණවර්ධන, රාජිත බස්‌නායක, නිරෝෂන් රාජපක්‍ෂ, කොඩිතුවක්‌කුලාගේ මිහිරංග, සේගු තයිදු, ප්‍රිය කැලුම් ජයතිස්‌ස, සසින්ද වේදපිටිය, සංජීව සෙනෙවිරත්න, පුබුදු අල්විස්, ධනංජය කනිෂ්ක බණ්‌ඩාර, කවිෂ්ක ලක්‍ෂ්මන් උමේෂ් එරංග කුමාර, හර්ෂණ සහ සුරේෂ් විඡේසිරි යන කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර සිසුන් පිරිසකුයි.
මෙම සිසුන්ට එරෙහිව චෝදනා ගොනු කොට ඇත්තේ 1998 අංක 20 දරන නවක වද පනතේ අංක 2, 2-ෂෂ 3 සහ 6 වගන්ති යටතේ බැවින්, විත්තිකරුවන්ට ඇප ලබාදීමේ බලයක් තම අධිකරණයට නොමැති බව මහෙස්‌ත්‍රාත්වරිය ප්‍රකාශ කළ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා වන ආචාර්ය ගාමිණී හිටිනායක මහතාට ලැබුණු තොරතුරක් මත ඔහු සමග කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති ආචාර්ය ඩී. කේ. එන්. ජී. පුෂ්පකුමාර මහතා සහ ආරක්‍ෂක අංශ නිලධාරීන් පෙරේදා (19 දා) රාත්‍රි 11.00 ට පමණ එම ස්‌ථානයට ගොස් ඇත.
එම අවස්‌ථාවේ නවකවදය ලබාදෙන අන්දම සහ නවක සිසුන් නිරුවත් කරන අන්දම රහසේ වීඩියෝ ගත කොට විත්තිකාර සිසුන් සිය භාරයට ගත් ආචාර්යවරුන් පේරාදෙණිය පොලිස් ස්‌ථානය වෙත සිද්ධිය දැනුම්දුන් බව පේරාදෙණිය පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කමල් ආරියවංශ මහතා අධිකරණය හමුවේ කරුණු දක්‌වමින් කීය.
මෙලෙස නවක වදයට ලක්වූ සිසුන් අටදෙනා දුරකථන ඔස්‌සේ සම්බන්ධ කර ගනිමින් ගලහ මංසන්ධිය වෙත ගෙන්වා යතුරුපැදිවලින් අදාළ ස්‌ථානය වෙත කැඳවාගෙන ගොස් ඇති බවද, එම නිවස තුළදී නවක සිසුන් අටදෙනා නිරුවත් කොට විවිධ ඉරියව් ආකාරයෙන් ව්‍යායාම්වල නිරත වන ලෙසද ලිංගික හෝමෝන උත්තේජක ඇති කරන ක්‍රියාවල නිරතවන අයුරින් විවිධ ක්‍රියාකාරකම් සිදුකරන ලෙසට පවසා ඇතැයි වධබන්ධනයට ලක්‌වූ සිසුන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බවටද වාර්තා වෙනවා.